Sunday, July 28, 2013

මෙතෙර සිට..


නිදි නොලැබ නිදි බරව
පහන් කළ වුව රැයම
විඩා නොම  දැනෙන්නට
හේතුවයි නුඹ සබඳ....

                                                       
                     ළඟ නැතත් නුඹේ වත
                     දුර වගක් නොසිතාම
                     මගේ මුළු ජීවිතය
                     කැප කළා නුඹ වෙතට

දුරු රටක නුඹ තනිව
ගෙවන දුක් නිමා කොට
මා වෙතට ආ කලෙක
මා ලබයි ජීවිතය..










ධීවරිය.


පෙරදා මූදු ගිය ස්වාමියා එන තුරු,
පෙරගමන් විත් බලාන ඉන්න
අහිසක ධීවරියට,
     
පිණි බිංදු වලට ඉර අව්ව වැටිලා
දිස්න දෙන බිංතඹුරු මලේ
ලස්සන දැකීමත් උගහටයි.

ඇගේ දෑස ඉල්ලන්නෙ
අන් කිසිවක් නෙමෙයි..
ඈත සයුරෙ ,
තිතක් වාගෙ මතුවෙලා
ළං ළං වෙන,
අබලං වෙච්ච ඔරු කඳක සේයාවක්.....



යථාර්තය



දේවදාර ගස් අස්සෙන්
හීන් සීරුවට හිම කැටි පාත්වෙද්දි
හීගඩු පිපෙන හීතලේ,
උණුසුමින් පිරිල ගිය කබා පොරවගෙන
රාත්‍රී අවන්හලට ගොඩ වදින
ධනවාදී අදහස් ඉතිරිල ගිය 
මහා සද්ධන්ත මිනිස්සුන්ට වඩා,
                   

                  
                  නලල් තලේ එහෙ මෙහෙ වෙච්චි
                  දිළිහෙන දාඩිය බිංදු
                  දබරැගිල්ලෙන් පිහදම දමා,
                  හීන් කරගත්තු ඇස් දෙකෙන්
                  ඉර අව්ව උරාගෙන
                  මජං නාගත්තු බැනියම
                  දාඩියට ඇඟටම ඇලවෙද්දි
                  අබලන් කඩ කෑල්ලකට 
                  ගොඩ වදින අහිංසක මිනිස්සු,

 
                  
                  ජීවිතේ යථාර්තය දන්නවා ඇති...



සිතක අරුම



හීතලම හීතල පාන්දරක
බිං තඹුරු පත් උඩින්
යාන්තමට වගේ රත් වෙච්ච
ඉර අව්ව හිමී හිමීට පාත් වෙද්දි,
දිලිහි දිලිහි නැටවෙන පිණි බිංදු දකිද්දි,
"  තදින් ඉර පායන්නට එපා "  යැයි
කියන්නට හිත් දෙන තරමට
හිත බොළඳ වෙලාදෝ මන්දා...




අප්පච්චිගෙ ආදරයට නොදෙවෙනි වූ ලොකු අප්පච්චිගෙ ආදරේ......


හිත රිදෙන මොහොතකදි
ඇස ගැටෙන මායිමෙදි
නිසැකවම නුඹ හිඳියි
මගේ ලොකු අප්පච්චි..

ඉඳහිටක වරදකදි
වේවැලෙන් තැලෙද්දිත්
හිත මගේ සැනසුවේ
නුඹේ වදනක් තමයි..